අකුණු පිළිබඳ දැනුවත් වෙමු

අකුණු පිළිබඳ දැනුවත් වෙමු

                                                           අකුණු පිළිබඳ දැනුවත් වෙමු.

 

      වළාකුලුවල හටගන්නා අධික විද්‍යුත් ශක්තිය වළාකුලු වල සිට තවත් වළාකුලක් අතර හෝ පොළොව අතර හෝ දීප්තිමත් පුළිඟුවක් සේ ගමන් කරන්නාවූ ස්වාභාවික සංසිද්ධිය අකුණු ඇතිවීම ලෙස සරලව හැඳින්වීමට පුළුවන. ඒ නමුත් අහසේ ඇති සියලු ම වළාකුලු මගින් අකුණු ඇතිවීම සිදු නොවේ. මේ සඳහා දායක වන්නේ කැටි වළාකුලු ලෙස හඳුන්වනු ලබන වළාකුලු විශේෂයක් මගින් ය. දැන් අපි අකුණක් ඇති වන්නේ කෙසේ දැයි විමසා බලමු.

            මෙහි අවස්ථා 3 ක් දක්නට ලැබේ. ඉන් පළමු වැන්න ආරම්භක අවස්ථාව ලෙස හැඳින්වීමට පුළුවන. මෙහිදී කැටි වළාකුලක උඩු සුළං ධාරා ඇතිවේ. වළාකුල තුල වර්ෂාව හට ගත්තද එකී උඩු සුළං ධාරාව නිසා එම වැසි පොළොව කරා ළඟා නොවේ. මෙම  තත්ත්වය මිනිත්තු 10 ත් 15 ත් අතර කාලයක් පවතී. මීළඟ අවස්ථාව වර්ධන අවධිය ලෙස හැඳින්වීමට පුළුවන. මෙහිදී වර්ෂාව පවතින ප්‍රදේශයේ පවතින උඩු සුළං ධාරාවට අමතරව යටි සුළං ධාරා ද හටගනී. මෙම තත්ත්වය මිනිත්තු 15 ත් 30 ත් අතර කාලයක් පවතී. මින් පසුව එළැඹෙන්නේ අවසාන අවධියටයි. මෙහිදී පෙර හටගත් උඩු සුළං ධාරාව මුළුමනින්ම නැතිවී යයි. යටි සුළං ධාරාව මුළු වළාකුල තුල ම පවතින අතර ක්‍රමයෙන් යටි සුළං ධාරාවද දුර්වල වේ.

          වළාකුලේ පවතින ජල අංශු සහ අයිස් අංශුවල අන්තර්ක්‍රියා හේතුවෙන් විද්‍යුත් ආරෝපණ වෙන් වීමක් සිදු වේ. එවිට වළාකුලේ ඉහළ කොටස ධන වශයෙනුත් මධ්‍යම කොටස සෘණ වශයෙනුත් ආරෝපණය වීම සිදුවේ. මෙසේ වන්නේ වෙන් වූ ආරෝපණ එම සඳහන් කළ ප්‍රදේශයන් හි එක්රැස්  වීම නිසාය. මෙසේ ඉතා විශාල විද්‍යුත් ආරෝපණ ප්‍රමාණයක් වළාකුල තුළ එකතු වූ පසු අකුණු ඇතිවීම සිදුවේ. මෙලෙස ඇතිවන අකුණු ආකාර තුනකට වර්ග කිරීමට පුළුවන. ඉන් එකක් වන්නේ වළා අකුණු නමින් හැඳින්වෙන අකුණු වේ. ධන සහ සෘණ ලෙස විද්‍යුත් වශයෙන් ආරෝපිත වළාකුළු දෙකක් එකට විසර්ජනය වීම නිසා වළා අකුණු ඇතිවේ. මෙම අකුණු මඟින් ඉලෙක්ට්‍රොනික උපාංග සඳහා හානි පැමිණිය හැකිය.

                             දෙවැන්න ලෙස පෘථිවි අකුණු හැඳින්වීමට පුළුවන. වළාකුලු වල සිට පොළොව කරා පැමිණෙන අකුණු පෘථිවි අකුණු ලෙස හඳුන්වයි. අකුණු මගින් සිදුවන අනතුරු අතුරින් දරුණුම අනතුරු සිදු වන්නේ මෙම අකුණු මගින් ය. උස් ගොඩනැගිලි ගස් හා කුළුණු ආදියට ද මෙම අකුණු මගින් හානි සිදු වේ.

                   තෙවැන්න වා අකුණු ලෙස දැක්විය හැකිය. මේවා ඉහත සඳහන් කළ පෘථිවි අකුණු තරම් භයානක නොවේ. මේවා කැටි වළාකුලු තුල අඩංගු ආරෝපණ නිදහස් වායුගෝලයට විසර්ජනය වීම නිසා ඇතිවේ.

අවසාන වශයෙන් අකුණු අනතුරු අවම කර ගැනීමට ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳව විමසා බලමු. අකුණු ඇතිවන අවස්ථාවක එළිමහනේ ක්‍රීඩා කිරීම හෝ ක්‍රීඩා පිටි හේන් හෝ කුඹුරු වැනි හුදෙකලා ස්ථානයන්හි රැඳී සිටීම ඉතා අනතුරු දායක විය හැකිය. එබැවින් එවැනි ස්ථාන වලින් ඉවත් වීමට වගබලා ගත යුතුය. තවද විවෘත වාහන එනම් යතුරුපැදි හා පාපැදි වැනි වාහන මගින් ගමන් කිරීම ද නොකළ යුතුය. තවද ගස් යට හෝ ඒ අසල රැඳී සිටීමෙන් වැළකීමද ගත හැකි වැදගත් ආරක්ෂාකාරී පියවරකි. ලෝහ උපකරණ හෝ ලෝහ කමිබි වැනි දෑ ස්පර්ශ කිරීමෙන් ද වැළකී සිටිය යුතුය. එපමණක් නොව අකුණු ඇතිවන අවස්ථාවක ගංගා ඇළදොල ආදියෙහි ස්නානය කිරීමෙන් ද වැළකී සිටීමට හැකි උපරිමයෙන් උත්සාහ ගත යුතුය. අකුණු ඇතිවන අවස්ථාවක ඔබ නිවසේ රැඳී සිටී නම් නිවසේ ඇති විදුලි උපකරණ පේනු වලින් ගලවා විසන්ධි කිරීමට ද නිවස තුළ රැහැන් සහිත දුරකථන භාවිතයෙන් වැළකී සිටීමට ද වගබලා ගත යුතුය.           

                  


කතෘ : Charith Janaka
ලිපිය : තොරතුරක්
කියවූ ගණන : 5,516
කැමති ගණන : 0